තැපැල් දෙපාර්තමේන්තුවේ නම භාවිතා කරමින් සිදුවන වංචා සම්බන්ධව දැනුම් දීමක්

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කළේ, වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ය.

ඒ අනුව ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදි නම් භාවිත කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කෙටි පණිවුඩ මඟින් කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ

මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මඟින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදුනොකරන ලෙස ද තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක මඟින් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව – 1950 ‍

තොරතුරු තාක්ෂණ අංශය – 0112 542104 / 0112 334728 / 0112 335978 / 0112 687229 / 0112 330072