2024 – 04 – 16

හිරු නැගීම – 06 : 00

හිරු මුදුන්වීම – 12 : 08

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 16 වැනි අඟහරුවාදා. දීර්ඝ අවුරුදු නිවාඩුවක් ඉවර වෙල හැමෝම වගේ අද එයාලගේ රාජකාරී වැඩ වලට පිටත් වෙන දවස. ඇත්තටම කිව්වොත් අද ගොඩක් ඔෆිස් වල අවුරුදු දවස.

ඉතින් කට්ටියම එකතුවෙලා අවුරුදු කෑම මේසයක් එහෙම දාලා හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්නේ අද.

ඒ නිසා ඔන්න මේ අවුරුද්ද ප්‍රමෝෂන් ගොඩක් ලැබිලා හොඳින් වැඩ ටික කරගන්න ලැබෙන පඩි වැඩි වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

අද පුර අටවක පෝය දිනයක් වෙනවා. ඒ කියන්නේ දවසින් දවස හඳ එළිය වෙමින් යන ගමනේ හරියටම බාගයක් එළිය වෙලා තියෙන්නේ අද.

අද දවස විශේෂත්වය ගත්තොත් අද ඕකිඩ් දවස. මල් වලට ආදරේ කරන හැමෝම වගේ දන්න ලස්සනම මල් තියෙන ශාකයක් තමයි ඕකීඩ් කියන්නෙ. ඕකිඩ් අපිශාකයක් විදිහට තවත් ශාකයක් ආධාර කරගෙන තමයි හැදෙන්නේ.

ග්ලැසියර හැරුණු කොට ලෝකයේ හැම රටකම වගේ තියෙන ශාකයක් තමයි ඕකිඩ්. දැනට විශේෂ 28,000කටත් වැඩි ඕකිඩ් ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා.

විවිධ පාටින් විවිධ හැඩයෙන් යුක්ත මේ ඕකිඩ් ඕනෑම ස්ථානයකට හරිම අමුතු ලස්සනක් එකතු කරනවා. ඔයාගේ ගෙවත්තේ මල් වගාවේ තියෙන්නම ඕනෙ මල් ජාතියක් තමයි ඒ.

අප්‍රේල් 16 තියෙන තවත් විශේෂත්වයක් තමයි අලි ආරක්‍ෂා කරගැනීමේ දවස. ඉතින් ලංකාව වගේ රටක මේ වගේ දවසක අවශ්‍යතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට විශාල අලි ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි දළ ගැනීම සඳහා, ගජමුතු ලබා ගැනීම සඳහා අලි විශාල වශයෙන් මරණයට පත්කරනවා. මේ නිසාම දැන් ලංකාවේ අලි ගහනය ඉතාමත් ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

ලංකාවට ගොඩක් වටිනාකමක් එකතු කරන ලංකාවේ අලි ආරක්ෂා කර ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!