2024 – 04 – 13

හිරු නැගීම – 06 : 01

හිරු මුදුන් වීම – 12 : 09

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 13 වෙනි සෙනසුරාදා. අද තමයි ඉතින් කට්ටිය හෝම පුන පුනා බලා ගෙන හිටපු සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදා වෙන දවස. ඒ කියන්නේ අද අවුරුදු !

අද අපරභාග 09 : 05 ට තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ.

නැකත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය කියන චාරිත්‍ර ඔක්කොම අද තමයි යෙදිලා තියෙන්නේ.

මේ පාර මේ ඔක්කොම චාරිත්‍ර ඉතින් රාත්‍රී කාලයේ තමයි තියෙන්නේ. ගොඩක් මතභේද පැන නැගුනත් කොහොම හරි ඒක වෙනසක් නම් වුණෙම නැහැ නේ…

මොනවා වුණත් වැදගත් වෙන්නේ පවුලේ ඔක්කොම එකට එකතු වෙලා මේ චාරිත්‍ර කරන දේ තමයි. ඉතින් පොඩි අය එහෙම ඉන්නවා නම් ඔයාලට පුළුවන් 14 වෙනිදා උදේට කිරිබත් එහෙම හදලා කට්ටිය එක්ක ආහාර අනුභව චාරිත්‍රය කරන්න.

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සූර්යයා එක්ක බැඳුනු ගනුදෙනුවක් නේ. ඒකනේ අපි සූර්යය මංගල්‍ය කියලා එකට කියන්නේ. සූර්යයා නිසා තමයි මේ පෘථිවියේ ජිවය රැඳිලා තියෙන්නේ. ඒකට ගෞරව දැක්වීමට සහ අලුත් ආරම්භය සනිටුහන් කරමින් තමයි ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ මේ අලුත් අවුරුදු මංගල්‍ය සමරුවේ.

ගොඩක් අය දැනටමත් එයාලගේ ගෙවල්, මහ ගෙවල් වලට ගිහින් ඇති, අපි කලිනුත් කිව්වා වගේ පවුලේ ඔක්කොම කට්ටිය සතුටින් එකතු වෙලා ඉන්න තැන තමයි අවුරුදු තියෙන්නේ. ඒ නිසා මේ අවුරුද්දේ ඔයා ආදරේ කරන අය ලඟින්ම ඉන්න… එයාල එක්ක හිතවත්කම් අලුත් කර ගෙන ආදරේ බෙදා ගන්න.

අද නැකත් වෙලාවට රතිඥ්ඥා දාන එකත් කල්පනාවෙන් කරන්න. පුළුවන් නම් රතිඥ්ඥා නොදා ඉන්න. බල්ලෝ, පූසෝ වගේම කුරුල්ලෝ ඒකෙන් ඇති වෙන ලොකු සද්දෙට ගොඩක් බයයි. අද නැකත් තියෙන්නේ ගොඩක් රෑ නිසාම කුරුල්ලොන්ට වෙනදට වඩා වැඩි හානියක් වෙන්න පුළුවන්.

අපි තව කෙනෙක් රිද්දලා සතුටු වෙන්න හොඳ නැහැ, ඒ නිසා මේ අවුරුද්දේ රතිඥ්ඥා භාවිතය නතර කරමු. අහිංසක ඉල්ලීමක්…

එහෙනම් ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා!