වසර 70කට වරක් පෙනෙන යක්ෂයාගේ ධූමකේතුව

අද අප්‍රේල් 08 වෙනි දා හරිම විශේෂ දවසක්. ඒ තමයි පූර්ණ සුර්යග්‍රහණයක් යෙදෙන අද දවසේ වසර 70කට පසු පෙනෙන යක්ෂයාගේ ධූම කේතුවත් දැක ගන්න පුළුවන් වෙන නිසා.

ඒ වගේම තමයි මේ ධූමකේතුව ලංකාවේ ඉන්න කෙනෙක්ටත් දැක ගන්න පුළුවන්.

එහෙනම් අද අපි මේ ධූමකේතුව කේතුව ගැන ටිකක් විස්තර හොයල බලමු.

මේක යක්ෂයාගේ ධූමකේතුව එහෙමත් නැත්නම් Devil’s comet කියලා හැඳින් වුවත් මේකේ හරිම නම වෙන්නේ 12P/Pons-Brooks. එය සතු අසාමාන්‍ය අං දෙකක් වැනි ව්‍යුහය නිසා තමයි “යක්ෂ ධූමකේතුව” යන අන්වර්ථ නමින් හැඳින් වෙන්නේ.

කවුද මේක හොයා ගත්තේ?

මේ ධූමකේතුව සොයා ගැනීම ඇත්තටම කණ්ඩායම් උත්සාහයක්. මොකද මේක වසර 70කට සැරයක් තමයි දර්ශනය වෙන්නේ. ඉතින් මේක එක වතාවක් දැක්ක කෙනෙක්ට ආයෙමත් බලන්න අවස්තාවක් ඇති වෙන්නේ නැතිම තරම්.

මුලින්ම 1812 දී ජීන් ලුවී පොන්ස් (Jean-Louis Pons) විසින් තමයි මේක හොයා ගෙන තියෙන්නේ. ඊට පස්සේ 1883 දී William Robert Brooks විසින් ආයෙම වතාවක් මේක හොයා ගෙන තියෙනවා. මේක සොයා ගන්න දායක වුණු දෙන්නගෙම නම් එකතු කරලා තමයි මේ ධූමකේතුවට නම තියලා තියෙන්නේ.

Jean-Louis Pons

වසර 70ක් වගේ දිගු කාලයකට පස්සේ පෙන්නේ ඇයි?

අපි විශ්වාස කරනවා අපේ මේ ග්‍රහලෝක සහ වෙනත් ආකාශ වස්තූන් ඔක්කොම සූර්යයා වටේ ගමන් කරනවා කියලා. බොහෝ ධූමකේතු වගේ 12P/Pons-Brooks ධූමකේතුවත් බොහෝ වෙලාවට ඉන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට බොහෝ දුරින්. කොහොම වුණත් සෑම වසර 71කට වරක්ම එය සූර්යයාට ලඟින් ගමන් කරන නිසා අපිට ඒක දැක ගන්න පුළුවන් වෙනවා.

සූර්යයාට ලං වෙනකොට මේ ධූමකේතුවේ තියෙන ඝන අයිස් ඍජුවම වායු අයිස් බවට පත් වෙමින් දුවිලි සහිත වූ දීප්තිමත් වලිගයක් සකසනවා. ඉතින් මේක සූර්යයාගේ ආලෝකය පරාවර්තනය කිරීමත් සමඟ අපිට ඒක දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ දිගු කක්ෂීය කාලය නිසාම මේක Halley-type වල්ගා තරුවක් ලෙස නම් කරලා තියෙනවා.

2024 කියන්නේ විශේෂ දර්ශනයක් සහිත අවුරුද්දක්

2024 අවුරුද්දේ දී මේ 12P/Pons-Brooks ධූමකේතුව පෘථිවියට ඉතාමත් ආසන්නව ගමන් කරනවා. ඒ නිසාම අපිට ඒක දෘශ්‍ය ආධාරක නොමැතිව පියවි ඇසට පවා දැක ගන්න පුළුවන් වෙනවා. මේක ගොඩක් දීප්තිමත් ධූමකේතුවක් විදිහට හඳුනා ගන්න පුළුවන්.

යක්ෂ ධූමකේතුවේ දීප්තිය සලකා බැලීමෙන් විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ එහි න්‍යෂ්ටියේ විශ්කම්භය සැතපුම් 12.4ක් පමණ වන බවයි. එය එවරස්ට් කන්ද මෙන් දෙගුණයක විශාලත්වයක්. සාමාන්‍යයෙන් ධූමකේතුවක පළල සැතපුම් 0.6ත් 1.8ත් අතර වෙනවා. ඒ කියන්නේ මේ ධූමකේතුව වීශාලම එකක්.

පෘථිවිය සමග නක්ෂත්‍ර ඒකක එකහමාරක පරතරයක් තබා ගනිමින් තමයි මේ වසරේ 12P/Pons-Brooks ධූමකේතුව ගමන් කරන්නේ.

මේ ධූමකේතුවෙන් උල්කා වර්ෂා ඇති වෙනවද?

විද්‍යාඥයන් සැක පල කරනවා දෙසැම්බර් මාසයේ ඇති වෙන κ Draconids උල්කා වර්ෂාව මේ 12P/Pons-Brooks ධූමකේතුව හේතුවෙන් ඇති වෙන දෙයක් කියලා. කොහොම වුණත් මේ උල්කා වර්ෂාව ඉතාම දුර්වල එකක් වෙනවා. එහි උච්චතම අවස්තාව නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල දැක ගන්න පුළුවන්.