පාට කියන්නේ ජිවිතේ අපිට හැම වෙලේම තෝර ගන්න වෙන දෙයක් නේ. ඇදුමක් ගන්න ගියාම හරි වෙනත් යමක් ගන්න ගියාම හරි අපි ගොඩක් සැලකිලිමත් වෙනවා මේ පාට ගැන. අපි බලන්නේ අපේ හිතට සතුටක් දැනෙන පාටකින් දේවල් ගන්න.
ඒක නිසා තමයි අපේ කාමරේ එකම පාට දේවල් ගොඩක් තියෙන්නේ. අපි ඒ පාටට ආස නිසා වැඩියෙන්ම ගන්නේ ඒ පාට දේවල්.
අද අපි කියන්න යන්නේ ඔයාගේ ආසම පාටින් ඔයා ගැන කියවෙන්නේ මොනවද කියල
ඉතින් ඔයාගේ ආසම පාට හිතා ගෙන මෙන්න බලන්නකෝ ඒකෙන් ඔයා ගැන කියවෙන දේ
කළු
කොල්ලෝ වගේම කෙල්ලෝත් ගොඩක් අය ආසයි නේ කළු පාටට ඔන්න. කළු පාටින් බලය, නිර්මාණශීලිත්වය, අලංකාරය සහ ලිංගිකත්වය කියන දේවල් නිරුපනය වෙනවා. ඔයා කළු පාටට ගොඩක් ආස නම් ඔයා ස්වාධීන, ශක්තිමත් සහ අලුත් දේවල් කරන්න කැමති කෙනෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. කළු පාටට පුළුවන් ඔයාට powerful look එකක් දෙන්න.
සුදු
සුදු පාට පිරිසිදුකම සංකේතවත් කරන්න යොදා ගන්නවා. ඉතින් සුදු ඔයාගේ ආසම පාට නම් ඔයා සංවිධානාත්මක, ස්වාධීන සහ තාර්කික පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඔයා දේවල් දිහා විවෘතව බලන කෙනෙක්. ඔයාට ඕනේ සන්සුන්, සංවර look එකක් නම් ඔයාට පුළුවන් සුදු පාට භාවිතා කරන්න.
රතු
රතු පාට දැඩි ආශාව සහ ආක්‍රමණශීලි ස්වාභාවය නිරුපනය කරනවා. කෝපය වගේම ආදරයත් සංකේතවත් කරන්න රතු පාට යොදා ගන්නවා. ඔයාගේ ආසම පාට රතු නම් ඔයා ක්‍රියාශීලි, උද්යෝගිමත් කෙනෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. රතු කියන්නේ දැක්කම හොඳ ජවයක් හිතෙන පාටක්.
දම්
සෞභාග්‍යය හෝ රාජකීයත්වය සංකේතවත් කිරීම සඳහා දම් පාට යොදා ගන්නවා. ඒ නිසාම බොහෝ සුඛෝපභෝගී දේවල් සඳහා මේ දම් පාට යොදා ගන්නවා. ඔයා දම් පාටට කැමති නම් ඔයා හොඳ අරමුණක් තියෙන, පෞද්ගලිකත්වය අගයන කෙනෙක්. ඒ වගේම තමයි ඔයා නිවුණු දේවල් වලට කැමති කෙනෙක්. මොකද දම් පාට කියන්නේ හරි නිවුණු, ඇස් වලට අමාරු නැති පාටක්.
රෝස
රෝස පාටට කැමති අය තම අදහස් පැහැදිලිව සහ නිදහසේ ප්‍රකාශ කරන අය විදිහට හදුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ පාටට කැමති අය කරුණාවන්ත, අවංක අය වෙනවා. අවස්තානුකුල විදිහට ඉක්මනින් හැඩ ගැහෙන්න එයාලට පුළුවන් වෙනවා. එයාල මෘදු විදිහට හිතන, මොලොක් හිතක් තියෙන අය විදිහට සලකන්න පුළුවන්.
තැඹිලි
තැඹිලි පාට කියන්නේ හිරු එලිය, වසන්තය එක්ක බැඳුනු ප්‍රීතිමත් පාටක්. ඔයාත් තැඹිලි පාටට කැමති නම් ජවසම්පන්න පෞරුෂයක් සහිත සමාජශීලි පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම රතු සහ කහ වර්ණ වලට කැමති අයගේ මිශ්‍ර ලක්ෂණ ඔයා පෙන්නුම් කරනවා. මොකද රතු සහ කහ වර්ණ වල එකතුවෙන් නේ තැඹිලි හැදිලා තියෙන්නේ.
නිල්
නිල් පාට සාමය සහ සන්සුන්බාවය නිරුපනය කරන්න යොදා ගන්නවා. ඉතින් ඔයා නිල් පාටට ආස කෙනෙක් නම් ඔයා විශ්වාසවන්ත වගේම සන්සුන් කෙනෙක් විදිහටත් සලකන්න පුළුවන්. ඒ වගේම ඔයා කට්ටිය එක්ක සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්. නිල් පාට කියන්නෙත් හිත නිවිලා යන පාටක්. නිල් පාටට කැමති ඔයත් නිවුණු හිතක් තියෙන කෙනෙක්.
කොළ
කොළ පාට කියන්නේ ගස්කොළ වල පාට. ස්වභාවධර්මය, වාසනාව, සශ්‍රීකත්වය සහ නැවත ඉපදීම මෙන්ම වගේම බලාපොරොත්තු ඉෂ්ට වීමත් මේ කොළ පාටින් සංකේතවත් කෙරෙනවා. ඔයා කොළ පාටට කැමති නම් සමබර ජීවන රටාවක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි අනෙක් අය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්, එයාලව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.
කහ
ඔයා කහ පාටට ආස කෙනෙක් නම් ඔයා නිතරම සතුටින් ඉන්න කෙනෙක්. නිරන්තරයෙන් දේවල් දිහා සුභවාදී ලෙස බලමින්, නිර්මාණශීලි ලෙස කටයුතු කරන කෙනෙක්. ඒ වගේම ඒ ඒ තැනට ගැලපෙන විදිහට වැඩ කරන්නත් ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. ඔයා විනෝදයට බර හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්.
දුඹුරු
දුඹුරු කියන්නේ පොළොවේ පස් වල පාට. ඔයා දුඹුරු පාටට කැමති කෙනෙක් නම් ඔන්න ඔයා සරල ජිවිතයක් ගත කරන කෙනෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔයත් පරිසරය එක්ක ඉන්න හරිම ආසයි. හැමදේම දිහා මැදිහත් සිතින් බලන කෙනෙක් ඔයා.
ඔන්න ඔහොම තමයි ඔයාගේ ආසම පාටින් ඔයා ගැන කියවෙන විදිහ. මේක ඉතින් දල වශයෙන් කරන විස්තරයක් මිසක් හරියටම හරි දෙයක් නෙමෙයි කියන එක මතක තියා ගන්න.
මේක යාළුවො එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

