2024 – 03 – 18

හිරු නැගීම – 06 : 14

හිරු මුදුන් වීම – 12 : 17

හිරු බැසීම – 18 : 20

අද සඳුදා දවසක්. හැමෝම වගේ ඉතින් අද නම් එයාලගේ රාජකාරි වැඩ වලට පිටත් වෙන දවසක්. ඊයේ හඳේ පුර අටවක පෝය තිබුණු නිසාම දැන් අපි මේ ඉන්නේ හඳ හොඳට පුරන කාලේ, ඒ කියන්නේ දවසින් දවස හඳ එලිය වැඩි වෙන කාලෙ.

ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි Global Recycling Day එක හෙවත් ලෝක ප්‍රතිචක්‍රීකරණ දවස.

අද වෙනකොට මේ ලෝකේ කසල කියන දේ විශාල අර්බුධයක් වෙලා ඉවරයි. ඒ කසල අතුරින් කොටසක් අපිට ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත නැවත භාවිතයට ගන්න පුළුවන්. වීදුරු වගේ දේවල් ඉතාම හොඳින් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් සහ පරණ වීදුරු උණු කරලා ඒවායින් අලුත් වීදුරු හැදුවත් ඒ වීදුරු වල quality එක ඒ විදිහටම තියෙනවා. (Recycle)

ඒ වුණත් බොහෝ ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රීකරණය කළාම එකේ ගුණාත්මකභාවය විශාල ලෙස අඩු වෙනවා. ඒ නිසාම ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වාර ගණන සීමිත වෙනවා. ඒ නිසාම ප්ලාස්ටික් යම් කාලයක් ගියාට පස්සේ ආයේ ප්‍රයෝජනයට ගන්න බැරි වෙන්න අපතේ දාන්නම වෙනවා. ඒ නිසා තමයි ප්ලාස්ටික් භාවිතය හැකි තරම් අවම කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙන්නේ.

ප්‍රතිචක්‍රීකරණය හා බැඳුනු තවත් දෙයක් තමයි 3R සංකල්පය කියන්නේ. එයින් අදහස් වෙන්නේ Reduce, Reuse, Recycle කියන එක. අපි හැමවෙලේම දිරාපත් නොවෙන පරිසර හිතකාමී නොවෙන දේවල් භාවිතය අවම කරන්න ඕනි (Reduce). ඒ වගේම දේවල් නැවත නැවත භාවිතා කරන්න ඕනි. (Reuse)

ඒ නිසාම තමයි එක් වරක් පමණක් භාවිතා කළ හැකි පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට ලෝකේ ගොඩක් රටවල් දැන් කටයුතු කරන්නේ. ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්නත් බැහැ නිසා ඒවා විශාල වශයෙන් එකතු වෙලා පාරිසරික අර්බුධයක් ඒ හරහා නිර්මාණය වෙලා ඉවරයි. අනික මේවා බොහොමයක් සෞඛ්‍යයටත් ඉතාම අහිතකරයි කියලා හොයා ගෙන තියෙනවා.

ඔයත් ඔයාගේ ගෙදරට බඩු ගන්නකොත මේ 3R සංකල්පයට ගැලපෙන බඩු ගන්න මහන්සි වෙන්න. වීදුරු එහෙම ටිකක් පරිස්සමෙන් භාවිතා කරන්න පුළුවන් නම් වීදුරු කියන්නේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ඉතාමත් හිතකර දෙයක්.

අපි ඉවත දමන ප්ලාස්ටික් නැවතත් අපේ ආහාර සහ ජලය හරහා මයික්‍රෝ ප්ලාස්ටික් විදිහට අපේ ශරීරයට ඒමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම වගේම විධිමත් ලෙස කසල බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ද වැදගත් වෙනවා.

එහෙනම් ඒ ටිකත් මතක තියා ගෙනම අද දවස පටන් ගමු. අනවශ්‍ය පොලිතින් ප්ලාස්ටික් ආදිය භාවිතය අද සිටම අවම කර ගනිමු.

ජය වේවා ! තෙරුවන් සරණයි.