පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනයට නව මධ්‍යස්ථානයක්

වේගා ඉනෝවිටිව් ආයතනය මගින් මෙරටදී නිෂ්පාදනය කරන ලද ත්‍රිරෝද රථ සහ විදුලියට පරිවර්තනය කරන ලද මෝටර් රථවලට අවශ්‍ය ආරෝපණ පහසුකම් ලබාදීම සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ මධ්‍යස්ථානයක් කොල්ලුපිටිය ප්‍රදේශයේදී විවෘත කර තිබෙනවා.

කෙටි කාලයක් තුළ අඩු ධාරිතාවයකින් යුතු යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් විදුලි වාහන ආරෝපණය කළ හැකි ආරෝපණ පහසුකම් මෙම ස්ථානයේ ස්ථාපනය කර ඇති අතර ඒ තුළින් පැයකට වඩා අඩු කාලයකදී ත්‍රිරෝද රථයක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි වනවා.

කිසිදු මුදල් භාවිතයකින් තොරව ජංගම දුරකථන යෙදවුමක් හරහා මෙම ස්ථානයේදී ත්‍රී රෝද රථ ඇතුළු වාහන ආරෝපණය කිරීම සහ ඊට අදාළ මුදල් ගෙවීම ඇතුළු කටයුතු සිදු කර ගැනීමේ තාක්ෂණික පහසුකම් ද පරිභෝගිකයින් වෙත සලසා තිබෙනවා.

එසේම ඉදිරියේදී දිවයින පුරා සියලු ආරෝපණ මධ්‍යස්ථානවලට මෙම පහසුකම් ලබාදීම සඳහා ද වේගා ඉනෝවෙටිව් ආයතනය කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්.

එමෙන්ම දැනට ඉන්ධන භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා CDB ආයතනය සමඟ එක්ව පහසු මුල්‍ය පහසුකම් ලබාදීමේ කාර්යාලයක්‌ ද මෙම පරිශ්‍රයේදී ක්‍රියාත්මකයි.

ඒ යටතේ ඕනෑම පාරිභෝගිකයකුට මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගෙන තම ත්‍රිරෝද රථය කෙටි කාලයක් තුල විදුලියට පරිවර්තනය කරගැනීමේ පහසුව හිමිවනු ඇත.