තලෙයිබාන් පාලකයන් ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යා ස්ථාන කොල්ලකයි

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් ඩෝසර් කරමින් ඒවා තුල වූ පුරාවස්තු ලබා ගනිමින් සිටින බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පසුගිය රජය යටතේ ආරම්භ වූ කොල්ලකෑම් රටාවන් 2021 දී තලෙයිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසුව අඛණ්ඩව පවතින බවට තහවුරු වන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ උතුරු ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රදේශයේ පැවති ලෝකඩ යුගය සහ යකඩ යුගය දක්වා දිවෙන පුරාණ ජනාවාස බොහොමයක් මේ වන විට විනාශ කර අවසන් බවයි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික උරුම සංරක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් ඇෆ්ගනිස්ථානය පුරා පුරාවිද්‍යාත්මක ස්ථාන 29,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට ඒවා බොහොමයක් බිමට සමතලා වී ඇති අතර නිදන් සෙවීම සඳහා හාරන ලද වලවල් සහ ඩෝසර් සලකුණු පමණක් එහි ඉතිරි වී තිබෙනවා.