රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමේ සැලසුමක්

ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුදාවට නියෝග කර තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ සිටීම හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහිව පුළුල් ප්‍රහාරයක් දියත් කිරීමට පෙරයි.

හමාස් සංවිධානයේ බල ඇණි හතරක් පමණ රෆා හි සිටින අතර ඔවුන් ද අවසන් නොකර හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගත නොහැකි බවයි බෙන්ජමින් නෙතන්යාහු පෙන්වා දී ඇත්තේ.

ගාසා තීරයේ සෙසු ප්‍රදේශ වල පවතින යුධ ගැටුම් හේතුවෙන් රැකවරණය පතා පැමිණි පලස්තීනුවන් මිලියන 1.5ක් පමණ රෆා නගරයේ සිටින බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපදය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ රෆා නගරය ආක්‍රමණය කිරීම ව්‍යසනයකට අත වැනීමක් බවයි. එසේම යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඊශ්‍රායලයේ මෙම සැලැස්මට සිය කනස්සල්ල පළ කර තිබෙනවා.