ශ්‍රී ලංකාව 76 වැනි නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමානවත් 76 වැනි නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

දශක ගණනාවකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ආධිපත්‍ය යටතේ පැවති ශ්‍රී ලංකාව, අපේ අතීත මුතුන් මිත්තන් විසින් තම ජිවිත පරිත්‍යාගයෙන් ඉංග්‍රීසින්ගෙන් මුදවා ගනු ලැබුවා.

මෙවර නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී ‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව ඇත.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා වනවා.

මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙනු ලබනවා.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීමට නියමිත බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරනවා.

එසේම සැමරුම් පෙළපාලිය සඳහා ගුවන් යානා 19ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් එක්කර ඇති බවයි ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසුවේ.