ඉන්දියාවේ වන්දනා චාරිකාවකට ගොස් මෙරටට පැමිණි කාන්තාවකට දින 33කට පසුව කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊයේ උදෑසන තමන් අසනීප තත්ත්වයකින් පසුවන බවට එම කාන්තාව කළ දැනුම්දීමකින් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඇයගේ නිවසට ගොස් ඇති අතර පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී ඇයට එම වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිණියක් වන මෙම කාන්තාව පසුගිය පෙබරවාරි මස 29 වැනිදා සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් ඇති අතර මාර්තු මස 12 වනදා නැවත දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව දිවයිනට පැමිණීමෙන් අනතුරුව පොලීසියේ ලියාපදිංචි වී දින 14ක කාලයක් නිවසේ නිරෝධායනයට ද ලක්ව ඇති බවයි කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඇය සමඟ වන්දනා චාරිකාවට එක්වූ ඇගේ සැමියා, වැඩිමහල් පුත්‍රයා මෙන්ම අනෙක් පුතුන් දෙදෙනා ද රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, වැඩිමහල් පුත්‍රයාට කළ පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වැළඳී නොමැති බවයි තහවුරු වී තිබුණේ.
මේ අතර අදාල කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට හෙළිවීමත් සමඟ ඇගේ නිවස පිහිටි කෙසෙල්වත්ත, බණ්ඩාරනායක ප්‍රදේශයේ නිවාස 58ක් මේ වනවිට හුදකලා කර තිබෙනවා.

