මියන්මාර හමුදා රජය සිරකරුවන් පිරිසක් නිදහස් කරයි

මියන්මාර හමුදා රජය විසින් එරට නිදහස් දිනය සැමරීම සඳහා පොදු සමා කාලයක් තුළ විදේශිකයන් 114 ක් ඇතුළු සිරකරුවන් 9,652 කට නිදහස ලබා දීමට තීරණය කර තිබෙනවා.

2021 පෙබරවාරියේ හමුදාව බලය අල්ලාගත් දා සිට, මියන්මාරය නොසන්සුන්තාවයක පවතින අතර, දශකයක් පුරා පැවති ප්‍රජාතන්ත්‍රවාදී රජය අවසන් කරමින් එරට විරෝධතා මැඩපැවැත්වීම සඳහා මාරාන්තික බලයක් භාවිතා කිරීමට හමුදා රජය පියවර ගනු ලැබුවා.

රාජ්‍ය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජුන්ටාව ප්‍රකාශ කළේ වෙනත් රටවල් සමඟ සබඳතා පවත්වාගෙන යාමේ අරමුණින් සහ මානුෂීය හේතූන් මත, විදේශීය සිරකරුවන් 114 දෙනෙකුට සමාව දෙනු ලබන බවයි.

නිදහස් කරන ලද සිරකරුවන් අපේක්ෂාවෙන් වාණිජ අගනුවර වන Yangon හි, Insein බන්ධනාගාරයෙන් පිටත ජනකායක් රැස්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කී ද මැතිවරණ වංචා සහ දූෂණ ඇතුළු විවිධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් වසර 27ක සිර දඬුවමකට යටත් වී තිබෙනවා.

කෙසේවෙතත් ඇය විසින් මෙම එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, හමුදා රජය පවසන්නේ එම තීන්දුව ස්වාධින අධිකරණයක් හරහා ලබා දී ඇති බවයි.