2024 අලුත් අවුරුද්ද ලබන්න තව තියෙන්නේ හරියටම දවසක් දෙකක් වගේ පොඩි කාලයක්. මේ අවුරුද්දේ නම් දෙසැම්බර් 30, 31 දවස් දෙකම නිවාඩු නිසා අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්න හොඳ කාලයක් තියෙනවා..
දැන් කට්ටිය බලනවා ඇති නේ පරණ අවුරුද්දයි, කැලැන්ඩරයයි මකරයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් මන් හේතුවන් ඇතිව තමයි thumb picture එකට ඒක දැම්මේ. හේතුව දැන ගන්න අන්තිම වෙනකම් කියවලා බලන්නකෝ..
අලුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අපි එදිනෙදා ජිවිතයේ භාවිතා කරන ග්‍රෙගරියානු කැලැන්ඩරය අලුත් වෙනවා විතරක් ම නෙමෙයි, අපේ ජිවිතේ ත් එක අවුරුද්දක් ඉස්සරහට යනවා කියන එක. ඉස්කෝලේ යන වයසේ ළමයින්ට නම් එයාල උඩ ශ්‍රේණියට යනවා… රැකියාවක් කරන කෙනෙක්ගේ නම් එයාල ගේ රැකියා කාලය තව වැඩි වෙනවා.. ඒ වගේම තමයි ආයතනයක් කළමනාකරණයට, රජයකට එයාලගේ මූල්‍යමය සැලසුම් අලුත් කරන්න මේ අලුත් වීම හරිම වැදගත් . ඒ නිසා මේ කැලැන්ඩරය මාරු වෙන එකත් එක්ක ගොඩක් දේවල් සිද්ධ වෙනවා.
ඉතින් අලුත් කැලැන්ඩරයක් ගෙදර එල්ල ගන්න කලින් මන් ඔබට යෝජනා කරනවා පරණ කැලැන්ඩරය අර ගෙන එකේ පිටු අතරට ගිහින් බලන්න… කැලැන්ඩරයේ කොළ නැත්නම් ෆෝන් එකේ කැලැන්ඩරය හරි අර ගෙන බලන්න…
2023 ජනවාරි පළමුවැනිදා ඉඳන් 2023 දෙසැම්බර් අග දක්වාම දින වලට යමින් ඔයා කරපු දේවල් මතක් කරන්න.. මේ අවුරුද්දේ ඔයාගේ විශේෂ දවස්, අමතක නොවෙන සිදුවීම්, ඔයා කරපු දේවල්. ඔයා කරන්න හිතා ගෙන හිටියට කරන්න බැරි වුණු දේවල් ඔක්කොම මේ කැලැන්ඩරය බලන ගමන් මතක් කරන්න. ඔයා planner එකක් හෝ journal එකක් ලියනවා නම් ඒවත් බලන්න…
ඔයා මේ අවුරුද්දේ කළ දේවල්, ඔයාට දැනුනු විදිහ දිහා අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්දට යන්න කලිම් හිතලා බලන්න. ඒ දේවල් ගැන ස්වයං සමාලෝචනයක් කරලා බලන්න.
ඊළඟට ඔයා මේ අවුරුද්දේ මුල හිටියේ කොහොමද සහ දැන් ඉන්නේ කොහොමද කියන එක ගැන හිතන්න. පරණ ඔයා සහ දැන් ඉන්න ඔයාගේ වෙනස දකින්න. ඒ වෙනසට හේතුව හිතන්න. ඒ වගේම තමයි ඔයා ඉන්න වටපිටාව, ඔයාගේ යාළුවො සහ නෑදෑයෝ මේ අවුරුද්ද කාලය තුල කොච්චර වෙනස් වෙලාද කියලා හිතන්න..
ඔයාට මෙහෙම බලා ගෙන යනකොට ඔයාගේ ජිවිතේ මේ කාලේ සිද්ධ වුණ හොඳ නරක දේවල් ඔක්කොම මතක් වේවි. සමහර විට ඔයා මේ අවුරුද්දේ හිටියට වඩා හොඳ විදිහකට දැන් ඉන්න පුළුවන්, එහෙම නැති වෙන්නත් පුළුවන්
එහෙනම් ඊළඟට ඔයා හිතලා බලන්න ඕනි ඔයාගේ ජිවිතේ ඇයි එහෙම පෙරගාමි හෝ පසුගාමී වුණේ කියන එක. ඔයාගේ මොන මොන ක්‍රියා නිසා ද ඔයාගේ ජිවිතේ ට එහෙම වුණේ කියන එක සටහනක් දා ගන්න..
ඒ දේවල් අනිවාර්යයෙන් ඔයා මේ දවස් දෙක ඇතුළත සටහන් දාගෙන සමාලෝචනය කරලා ඉවර කරන්න
එතන තියෙන ඔයාගේ ජිවිතේ හොඳ කරන්න උදව් වුණ දේවල් ලබන අවුරුද්දේ වැඩියෙන් කරන්න උත්සාහ කරන්න.. ඒ වගේම තමයි ඔයාගේ ජිවිතේ පස්සට ඇදලා ගන්න හේතු වුණ දේවල් අයින් කරන්න හිතට ගන්න..
ඒ දේවල් දැකලා අඳුන ගත්තම තමයි අපිට ඒ දේවල් අපේ ජිවිතයේ අඩු හෝ වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් පරණ අවුරුද්දෙන් පාඩම් ඉගෙන ගෙන අලුත් අවුරුද්දට යන්න..
ජිවිතේ ඔයාට උගන්වන්න් හදන පාඩම ඔයා මේ අවුරුද්දේ ඉගෙන ගෙන ඉවර කරන්න… එතකොට අනිවාර්යයෙන් ඔයාට ලබන අවුරුද්ද හොඳ අවුරුද්දක් වේවි.
ඒ වගේම තමයි ලබන අවුරුද්දේ ඔයාගේ තියෙන ඉලක්ක ඔයා වෙනම කොලයක සටහන් කර ගන්න. ඒ දේවල් වෙනුවෙන් ඔයා කොහොමද වැඩ කරන්න ඕනි කියන එක කල්පනා කරලා බලන්න.
2024 අවුරුද්දේ මොන මොන කාල වල ඔයාගේ ජිවිතේ මොන මොන දේවල් සිද්ධ වෙන්න ඕනි ද කියන එක දැන් ම ඔයා හිතලා ඒ වෙනුවෙන් අරමුණකට ජනවාරි පළමුවැනිදා ඉඳලම වැඩ කරන්න පටන් ගන්න..
මේ අවුරුද්දේ ඔයා සුළග යන අතර ගිය කොලයක් වගේ නම් වැඩ කළේ, ලබන අවුරුද්දේ ඔයා ගහක් වගේ වෙන්න උත්සාහ කරන්න. පටන් ගන්නකොටම විශාල අරටුවක් තියෙන ගහක් වෙන්න බැරි වුණත් පුංචි මුල් වලින් පොලොව හයියෙන් අල්ල ගෙන ඉන්න පොඩි පැලයක් හරි වෙන්න..
මොකද පොඩි පැළයක් තමයි දවසක ලොකු ගහක් විදිහට ලොකු වෙන්නේ..
එහෙනම් අනිවාර්යයෙන් මේ දේවල් ගැන හිතලා බලන්න.. ඔයාට අනිවාර්යයෙන් පුළුවන් ඔයා හිතන ඕනිම දෙයක් කරන්න… අවශ්‍ය වෙන්නේ නිවැරදි දිශාවක් විතරයි.
මහන්සි වෙලා වැඩ කරන්න ඕනි නැහැ, එත් කරන වැඩි smart විදිහට හරියට කළොත් ඔයා අනිවාර්යයෙන්ම 2024 අවුරුද්ද ඉවර වෙනකොට ජිවිතේ ගොඩක් ඉස්සරහට ගිහින් තියෙයි.
ආ…. කියන්න අමතක වුණා නේ thumb picture එක ගැන. ඒ ඉන්නේ ඔයාල කොයි කව්රුත් දන්නා මකරෙක්… චීන කැලැන්ඩරයට අනුව එයාල එක එක අවුරුද්දට එක එක සත්තු වෙන් කරනවා නේ.
ඉතින් 2024 අවුරුද්දට එයාල වෙන් කරලා තියෙන්න සත්ත්වය තමා wood dragon එහෙමත් නැත්නම් මකරා කියන්නේ… මකරා කියන්නේ අපේ ගොඩක් සාහිත්‍ය වල එන සත්ත්වයෙක්.. ශක්තිය, සෞභාග්‍ය වගේම අරමුණු ජය ගැනීම සහ නිර්මාණාත්මක හැකියාව නිරුපනය කරන සත්ත්වයෙක් තමයි මකරා කියන්නේ.
චීන කැලැන්ඩරයට අනුව එයාලගේ අලුත් අවුරුද්ද පෙබරවාරි 10 වෙනිදා ආරම්භ වෙන නිසා මකරා ගේ අවුරුද්දත් ආරම්භ වෙන්නේ එදා ඉඳන් තමයි.
එහෙනම් අලුත් වෙන කැලැන්ඩරයේ ලස්සන මතක ගොඩක් ලියන්න පුලුවෙන් වෙන්න කියලා අපි ඔයාට සුබ පතනවා..
බුදු සරණයි ! ජය වේවා

