අනෙක් වසර වලට සාපේක්ෂව මේ වසරේ දෙසැම්බර් උත්සව සමයේ දී ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුම 50%කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.
පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ශෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
මේ පරිභෝජනය අඩු වීම සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස්,
“මිල ඉහළ යාමත් ජනතාව දැන් හුඟාක් වාහනවලින් ගමනාගමනය අඩුකරලා තියෙන්නේ. හුඟ දෙනෙක් පොදු ප්‍රවාහනයේ යනවා. පරණ තිබුණ පරිභෝජනය හා සසඳා බලද්දි ගොඩක් අය අත්‍යවශ්‍ය ගමන් සඳහා තමයි තෙල් ගහලා වාහනේ තියාගෙන ඉන්නේ. ත්‍රීවිල්, බයික් පොඩ්ඩ පොඩ්ඩ හරි ගහනවා. පිට පළාත්වල ෂෙඩ්වල මේක හොඳට පේනවා. ඒ පැත්තෙන් බලනකොට වෙළෙඳාම සෑහෙන අඩුවෙලා තියෙනවා.”

