පවුල් 60%ක මාසික ආදායම අඩු වෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60% කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා..

ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අදාළ සමීක්ෂණයට අනුව මෙරට පවුල් 60.5%ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් 91% ක මාසික වියදම වැඩි වී තිබෙනවා.

එසේම පවුල් 3.4% ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් 36.6%ක ආදායම ‍නොවෙනස්ව පවතින බව සඳහන්.

ආදායම් අඩු වූ පවුල්වලින් 73.6%ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් 6% ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදිය ප්‍රධාන වී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 22% ක් ණය බරින් පීඩාවට පත් ව සිටින බව ද අනාවරණය වී තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදු ව ඇති බව තිබෙනවා.

රැකියාවලට නොපැමිණීම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපාහැරීම සහ ආදායම් අහිමි වීම වැනි වෙනස්කම් එහි දී සිදු ව ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් ආර්ථිකය අර්බුදය හේතුවෙන් පුද්ගලයින් 14.2% කට රැකියා අහිමි වී ඇති අතර, ඉන් බහුතරය පිරිමි පුද්ගලයින් බව ද අනාවරණය වී තිබේ.