වසරේ අවසාන පොහොය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
උඳුවප් පොහොය දිනය ශාසනික මෙන්ම ඓතිහාසික වැදගත් සිදුවීම් රැසක් සිදු වුණු පොහෝ දිනයක් වනවා.
මිහිදු මහා රහතන් වහන්සේ ගේ නැඟනිය වන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වන් වූ පොහොය දිනකය.
මෙලෙස වැඩමවූ බෝධිය එවකට රාජ්ය පාලනය කළ දේවානම්පියතිස්ස රජු විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුර මහමෙව්නා උයන දක්වා පෙරහරින් වඩමවා එහි රෝපණය කරනු ලැබුවා.
එසේම සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබෙනවා.
උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමය.
මෙවර ශ්රී පාද වන්දනා සමය අරඹමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්රී පාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්රතිමා, දේවාභරණ හා සධාතුක කරඩුව ඇතුළු පූජා භාණ්ඩ සිරිපා මලුව වෙත වැඩම කරවීම අද අලුයම සිදු කෙරුණා.
අද දිනයේ සියලුම බෞද්ධයන් විහාරස්ථානවල ආගමික කටයුතු මහත් බැතියෙන් සිදු කරන අතර දාන සීල භාවනා ආදී වූ පින්කම් වලට නියැලෙනවා.
ඔබ සැමට පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි!

