ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතුයි – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.

වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබුවා.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනුයි හෙතෙම මේං අදහස් පළ කළේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වනවා.

මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අවබෝධ කර ගත යුතු අතර ඒ සන්දහා රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතව කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම එම ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දෙන තරගකාරිත්වය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට කැපවී සිටින බවත්, ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘතිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය ඒ සඳහා කැප වී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා.