ඉහළ යන බිත්තර සහ කුකුළු මස් මිලට රජයෙන් විසඳුම් දෙකක්

බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වහා ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට දේශීය වෙළෙදපොලේ කුකුළු මස් හා බිත්තර මිල ඉහල යාම සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි හෙතෙම පෙන්වා දෙනවා.

බිත්තරයක් සදහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසන නමුත් මේ වනවිට වෙළෙඳපළේ බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ දමා තිබෙනවා.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදු කළ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම නිෂ්පාදනවලින් අයුතු ලෙස පාරිභෝගිකයා ගසා කෑමට මෙම ව්‍යාපාරිකයින්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.