සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

සුරාසැල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ නීතිවිරෝධි මත්පැන් සමාජගත වීම වැළැක්වීම බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශකර සිටියේ මේ වන විට වඩාත් පැතිරී ගොස් තිබෙන නීතිවිරෝධී මත්පැන් සමාගම් පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

එමෙන් ම නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු වර්ධනය කරමින් හැකිතාක් දුරට එම කර්මාන්තය මුලින් උපුටා දැමීමත් මෙහි අරමුණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන වෙලාවන් සහ වසා තබනු ලබන වෙලාවන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව රට බීම තැබෑරුම් බලපත්‍ර පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වාත්, විදේශීය මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වාත්, සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත හෝටල් බලපත්‍ර උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වාත් විවෘතව තැබීමට අවසර දෙනු ලැබුවා.