ගාසා තීරයේ යළි සටන් විරාමයක් ගෙන ඒමට ඡන්දයක්

ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්දයක් පැවැත්වීමට සූදානම් වනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ලෝක සාමය පවත්වා ගෙන යාම සඳහා කාලාතුරකින් භාවිතා කරන බලයක් ඉල්ලා දින දෙකකට පසුව යි මෙම ඡන්ද විමසීම පැවත්වීමට තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා වන ගිලාඩ් එර්ඩන් සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ සටන් විරාමයකට එළඹීම යනු ගාසා තීරයේ හමාස් පාලනය වඩාත් තහවුරු කරන ක්‍රියාවක් බවත්, හමාස් සංවිධානය විසින් හිතා මතා සිදු කරන ලද අපරාධ වලට සමාව දීමක් බවත් ය.

ඇමරිකාව විසින් ද සටන් විරාමයක් සම්බන්ධයෙන් වූ යෝජනා ප්‍රතික්ෂේප කරමින් සිටින අතර මෙම ඡන්දයේ දී ද ඇමරිකාව අදාළ යෝජනාවට විපක්ෂව ඡන්දය දෙනු ඇති බවයි විචාරකයන් මත පළ කරන්නේ.

නමුත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් සිවිල් වැසියන් ඝාතනය වීම අවම කරමින් යුද්ධය සිදු කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.