2024 අධ්‍යන වර්ෂයට අදාළ ඉගැන්වීම් කටයුතු 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
2023 අධ්‍යන වර්ෂයේ තෙවනි වාරයේ පාසල් නිවාඩුව මේ මස ලබාදුන් පසු පෙබරවාරි 2 වනදා යළි පාසල් ආරම්භ කළ ද නව වසරට අදාළ පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
මේ අමාත්‍යවරයා අද කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් දැක්වූ අදහස්,
“දෙසැම්බර් 22 නිවාඩු දුන්නහම පාසල් පටන් ගන්නේ පෙබරවාරි 2 වෙනදා. තුන්වෙනි වාරයේ තව සති දෙකක් ගිහින් 16 ආපහු නිවාඩු දීලා 19 පටන් ගන්නවා අලුත් පාසල් වාරය. ගිය අවුරුද්දේ අලුත් පාසල් වාරය පටන් ගත්තේ අප්‍රේල් මාසයේ. අපි තව ඉස්සරහට ගෙනාවා. හැබැයි ලබන දෙසැම්බර් මාසය වනවිට විෂය නිර්දේශ සියල්ල ආවරණය වෙන්න. විභාග පොඩ්ඩක් කල්ගියාට අනිත් ඒවා පුළුවන් තරම් ඉස්සරහට ගන්නවා. ඒක කොවිඩ් -19 විවිධ හේතු නිසා කල්ගිය ඒවා. අපි යාවත්කාලීන කරගෙන යනවා. දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් නිසා කොච්චර අභියෝග තිබුණත් ලබන අවුරුද්දේ පෙළ පොත්වලට 1,020,000ක් වෙන් කරලා තියෙනවා. නිල ඇඳුම්වලට මිලියන 6,500ක් වෙන් කළා. පාවහන්වලට මිලියන 2,200ක්, දිවා ආහාරයට 16,000ක් මේවා අත්‍යාවශය කරුණු. හැමෝටම රු 10,000ක දීමනාවකුත් හම්බ වෙනවා. ගුරු වැටුප් විෂමතාවය ගැනත් සාකච්ඡා කරනවා. රු 10,000 ඔක්කෝටම ලැබෙනවා. අරක වෙනස්.”

