ඊශ්‍රායල හමුදා අල්-ෂිෆා රෝහලේ තවත් වැටලීමක

ඊශ්‍රායල හමුදා විසින් බදාදා දිනයේ අල්-ෂිෆා රෝහලේ සිදු කළ මෙහෙයුමට අමතරව බ්‍රහස්පතින්දා දිනයේ ද රෝහල තුල මෙහෙයුමක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

BBC වාර්තා කර ඇත්තේ රෝහල තුළ කිසිදු ආකාරයක වෙඩි තැබීමක් සිදු කර නොමැති බවත්, හමුදාව විසින් රෝහලේ කාර්ය මණ්ඩලයෙන් සහ රෝගීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ බවත් ය.

ඊශ්‍රායල හමුදා මෙම වැටලීම් සම්බන්ධයෙන් අවධාරණය කරන්නේ තමන් හමාස් සංවිධානයට එරෙහිව නිශ්චිත සහ ඉලක්කගත මෙහෙයුමක දී සිටින බවයි.

එසේම බදාදා දින රෝහල තුළ සිදු කරන ලද මෙහෙයුමක දී හමාස් සංවිධානයට අයත් අණ දෙන මධ්‍යස්ථානයක්, ආයුධ තොගයක් සහ අනෙකුත් තාක්ෂණික අවි සොයා ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

කෙසේවෙතත් රෝහල තුළ තිබී ආයුධ තොගයක් සොයා ගත්තා යැයි කරන චෝදනා දිගින් දිගටම හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

පලස්තීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ දහස් ගණනක් මිනිසුන් නවාතැන් ගෙන සිටින මෙම ස්ථානය සම්බන්ධයෙන් ඊශ්‍රාලය විසින් නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කරන බවයි.

මේ අතර උතුරු ගාසා තීරයේ සටන් වලින් තවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව සඳහන් වනවා.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම ආරම්භ කළ දා සිට පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සමඟ ඇති වූ සටනේදී අවම වශයෙන් ඊශ්‍රායල සොල්දාදුවන්ගෙන් 48ක් මිය ගොස් ඇති බවයි මින් පෙර නිවේදනය කර තිබුණේ.

Photo by Israel Defence Forces purportedly showing discovered weapons belonging to Hamas at Al-Shifa hospital
ඊශ්‍රායලය විසින් සොයා ගත්තා යැයි සැලකෙන හමාස් ආයුධ