විසර්ජන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි ව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙලෙස එයට අනුමැතිය ලබා දී ඇති නමුත් වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බව යි එහි සභාපති ආචාර්‍ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ.

එය නරක පූර්වාදර්ශයක් බැවින් එම තත්ත්වය වළක්වා ගනිමින් අයවැය පසුවිපරමක් සිදු කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී මන්ත්‍රීවරයා අවධාරණය කර තිබෙනවා.

එසේම වාර්ෂික අයවැය පරතරය 5%කට අඩු අගයක පවත්වා ගත යුතු බවට මුදල් නීති රෙගුලාසිවල නෛතික ප්‍රතිපාදන තිබුණ ද එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මුදල් කාරක සභාවේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.