ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.

එහි දී ආයෝජකයන් හැර අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ශුද්ධ වත්කමක් තිබිය යුතු වන අතර ඩොලර් මිලියන 100ක් දක්වා ණය ගැනීමේ හැකියාවක් ද පැවතිය යුතු වනවා.

එසේම මූල්‍ය ආයතනයක් මේ සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් මුදලක ප්‍රාග්ධනයක් තිබිය යුතු වන බවයි එම නිවේදනයේ දක්වා තිබෙන්නේ.

දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලන්කන් එයාලයින් හි දැනට රටවල් 22ක ගමනාන්ත 38ක් වෙත පියාසර කරන ගුවන් යානා 19ක් පවතින අතර වාර්ෂිකව මගින් මිලියන 5ක් සහ භාණ්ඩ ටොන් 80,000 ක් පමණ පියාසර කරනු ලබනවා.

ටෙන්ඩර් කැඳවීමේ අවසන් දිනය ලෙස අදාළ නිවේදනයේ දක්වා තිබෙන්නේ 2023 දෙසැම්බර් මස 05 වනදා වනවා.

දැනට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ 99.52%ක අයිතිය ශ්‍රී ලංකා රජය සතු වන අතර එම කොටස ආයෝජකයන් සඳහා විවෘත කිරීම මේ හරහා සිදු වනවා.