රජයේ සේවකයින් අද කෑම පැයේ දී උද්ඝෝෂණයක

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලමින් අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අද දහවල් 12ට ලබා දෙන දිවා ආහාර කාලයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර ඒ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර තිබෙනවා.

එසේම රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා සඳහන් කළේ මෙවර අයවැය තුළින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදෙන්නේ නම් නොවැම්බර් 13 වනදායින් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි.

මේ අතර දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට යන දෙදින තුළ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්යක නිරත වීමට තීරණය කර තිබෙනවා

එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා පැවසුවේ සිය වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීම බලධාරීන් විසින් දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි.