ගාසා තීරයේ සන්නිවේදන පහසුකම් බිඳ වැටෙයි

එරට වෙලාවට අනුව සිකුරාදා රාත්‍රී 7.00 න් පමණ පසුව ගාසා තීරයේ වැසියන්ගේ අන්තර්ජාල සහ දුරකථන පහසුකම් බිඳ වැටි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් ගාසා තීරයේ වැසියන්ට තොරතුරු හුවමාරු කර ගැනීමට සහ ලෝකය සමඟ සම්බන්ධ වීමට ඇති ඉඩ ඇහිරී ගොස් තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමත් සමඟ බෝම්බ හෙලීම් සහ ගොඩබිම් ප්‍රහාර තවදුරටත් තීව්‍ර වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව අද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් එක රැයක දී සිදු කළ වැටලීම් වලදී ත්‍රස්ත උමං මාර්ග, භූගත බංකර සහ අතිරේක භූගත යටිතල පහසුකම් 150කට පහර දුන් බවත්, හමාස් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු මරා දැමූ බවත්ය.

නවතම වාර්තා වලට අනුව ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 7,326ක් මිය ගොස් ඇත.