ලෝක ළමා සහ වැඩිහිටි දිනය අද

ළමයින්ට සහ වැඩිහිටියන්ට වෙන් වුණු ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට එනම් ඔක්තෝම්බර් පළමුවෙනිදා ට යෙදී තිබෙනවා.

වසර 1925 දී ජිනීවා හි පවතී ළමා සුභසාධනය පිළිබඳ සමුළුවේ දී ජාත්‍යන්තර ළමා දිනයක් පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද අතර මේ වන විට විවිධ රටවල් ළමා දින සැමරුම විවිධ දිනයන්හි සිදු කරනු ලබනවා.

1959 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් සමහර රටවල් නොවැම්බර් 20 වන දා ළමා දිනය සමරන අතර තවත් රටවල් ජුනි 01 දා ළමා දිනය ලෙස සමරනු ලබනවා.

සික් ජාතිකයන් ළමයින් උදෙසා දෙසැම්බර් 20 සිට 27 දක්වා වූ සතියම වෙන් කර තිබෙනවා.

වඩා වැදගත් වන්නේ ළමා දිනය සමරන දවස නොව, ඔවුන් සඳහා වඩාත් ආරක්‍ෂිත, යහපත් ලෝකයක් ගොඩ නැගීමට අප විසින් සිදු කරන වැඩපිළිවෙළ යි.

දිනෙන් දින ළමයින්ට එරෙහි අපරාධ සංඛ්‍යාව වැඩි වෙමින් යන අතර ඔවුන් විවිධ පුද්ගලයන්ගේ සහ ව්‍යාපර වල ගොදුරු බවට පත් වීමේ වැඩි ප්‍රවණතාවයක් ද පෙන්නුම් කරමින් පවතිනවා.

මේ හේතුවෙන් ළමා දිනය සමරන අද දවස පමණක් නොව වසරේ සෑම දවසක්ම ළමයින් ආරක්ෂා කිරීමට, ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට යොදා ගත යුතු වනවා.

‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න මෙවර ළමා දින තේමාව වන අතර ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ මෙවර වැඩිහිටි දින තේමාව ලෙස තෝරා ගෙන තිබෙනවා.

අනාගතයේ දී වැඩිහිටි දිනය සමරන්නේ ද, එක් දවසක ළමා දිනය සමරන කෙනෙක් වනවා. ළමයින් යනු ලෝකයේ අනාගතය වන අතර වැඩිහිටියන් යනු වර්තමානයේ නිර්මාණකරුවා වනවා.

අද අපි මේ ජිවත්වන වටපිටාව අපේ වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර අද ඔබ විසින් නිර්මාණය කරන වටපිටාවේ හෙට ළමයින් විසින් ජිවත් වනු ලබනවා.

ඉතින් මේ ළමා සහ වැඩිහිටි දිනය සමරන අද දවසේ ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කිරීමෙහි ලා ඔබේ දායකත්වයක් ලබා දීමට සිතා ගන්න.

සියලුම ළමයින් ඔබේ දරුවා ලෙස දකිමින් ඔවුන්ව ආරක්ෂා කරන්න. සියලුම වැඩිහිටියන් ඔබේ මවුපියන් ලෙස දකිමින් ඔවුන්ට ගෞරව කරන්න.