අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස සැලකෙන ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
ඉස්ලාම් චන්ද්ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ 12 වැනි දින සෞදි අරාබියේ මක්කා නගරයේ දී නබි නායකතුමන් උපත ලබා ඇති බව යි සඳහන් වන්නේ.
එසේම එතුමන් ගේ මරණය සිදු වී ඇත්තේ ද ඉස්ලාමීය දින දර්ශනයේ එකම දිනයක බවයි බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ.
වර්ෂ 610 දී නබි තුමා විසින් මක්කම පිහිටි හීරා නම් ගුහාවේ දී ඉස්ලාම් ධර්මය අවබෝධ කර ගෙන පසුව ඔහු අල් කුරානයේ වටිනාකම සහ ධර්මය පිළිබඳව ජනතාවට දේශනා කිරීමට සිය ජීවිතය කැප කළා.
ඒ අනුව එතුමාගේ උපන්දිනය සමරන අද දිනයේ ස්වර්ගයට යෑමට උපකාර වන ගීතිකා ආදියට සවන් දෙමින් ලොව පුරා වූ ඉස්ලාම් බැතිමතුන් මෙම දිනය උත්සවාකාරයෙන් මෙන්ම ආගමානුකුලව සමරනු ලබනවා.

