ඉන්දියාව හඳට ගිය සිව්වන රට බවට පත් වෙයි

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් -3 මෙහෙයුම ඊයේ දිනයේ සාර්ථකව සඳ මතට ගොඩ බැසීමත් සමඟ සඳට ගිය සිව්වන රට සහ සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගිය පළමු රට බවට පත් වීමට ඉන්දියාව සමත් වුණා.

මිනිස් කාර්ය මණ්ඩලයකින් තොරව පසුගිය ජූලි 14 වන දා දියත් කළ මෙම යානාව වික්‍රම් නම් ගොඩබෑම් රොබෝ කෙනෙක්ගෙන් (lander) සහ ප්‍රග්‍යාන් නම් රෝවරයකින් (rover) සමන්විත වූවා.

අගෝස්තු 23 එනම් ඊයේ දිනයේ ඉන්දීය වේලාවෙන් පස්වරු 6.02 ට පමණ මෙම වික්‍රම් lander සඳ මතට මෘදු ගොඩබෑමක් සිදු කළ බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය වාර්තා කරන්නේ.

මෙම අවස්ථාව පිළිබඳව සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කළේ ඊයේ දිනය ඉන්දියාව විසින් හැමදාටම මතක තබා ගන්නා දිනයක් වන බවයි.