කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වලට අඛණ්ඩ ජල සැපයුමක්

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේ ගැටළු මතුව ඇති නමුත් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කැලණි ගඟේ ජල මට්ටමට අදාළ ගැටළු විසඳීම සඳහා අඹතලේ ප්‍රදේශයේ වැලි බැම්මක් ඉදි කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා සඳහන් කළේ.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් මහජනතාව අධික ලෙස ජලය භාවිතා කිරීම හේතුවෙන් පවතින තත්වය ඉදිරියේ දී තවත් උග්‍ර විය හැකි බවයි ඔහු අනතුරු අඟවන්නේ.

මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් යුතුව අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කරන ලෙස යි ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.