එක්සත් රාජධානියට නැවත වරක් සුළි කුණාටු අවධානමක් හටගෙන තිබේ.
ඒ පසුගිය දිනවල හටගත් සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ ගංවතුර තවමත් පහවගොස් නොමැති පසුබිමකයි.
ජෝජ් සුළි කුණාටුව මේ සති අන්තයේදී එක්සත් රාජධානියට ඇතුල්වනු ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.
ඒ සමග වේල්සයට හා එංගලන්තයේ ප්රදේශ රැසකට අධික වර්ෂාවක් අපේක්ෂා කරන අතර කලාපයට අනතුරු ඇඟවීමේ කහ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
ජෝජ් සුළි කුණාටුවත් සමග කලාපයේ ජනතාවට දුෂ්කරතා රැසක් මතුවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මාසයක් තුළ මෙම කලාපයට බලපෑම් ඇති කරන තුන්වන සුළි කුණාටුව මෙය වනු ඇති.
ජෝජ් සුළි කුණාටුව පැය සැතපුම් 70ක පමණ වේගයකින් වෙරළ තීරය වෙත හමා එමින් තිබේ.
ගොඩබිමට ලඟාවීමත් සමඟ එහි වේගය පැයට සැතපුම් 60 දක්වා පහළ බසිනු ඇති බව කාලගුණ වාර්තාවල දැක්වෙයි.
කුණාටුව ගොඩබිමට ඇතුල්වීමත් සමඟ ප්රදේශ රැසකින් මිලිමීටර් 60 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙයි.
පසුගිය කාලයේදී මෙම කලාපයට බලපෑ සුළි කුණාටු දෙක හේතුවෙන් ජනතාවට පීඩා රැසක් මතුවිය.
අධික වර්ෂාවත් සමඟ ඇතැම් ප්රදේශවල හටගත් ගංවතුර තවමත් පහව ගොස් නැහැ.

