ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක්

ඊසාන දිග ප්‍රදේශයේ වූ මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම් උත්සන්න වීම සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂයට ඉන්දීය පාර්ලිමේන්තුව විසින් අවසර ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් මෝදී නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයට ආසන 542 කින් යුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 301 දෙනෙක් ගෙන් සමන්විත පැහැදිලි බහුතරයක් තිබීම හේතුවෙන් විශ්වාසභංග යෝජනාව කෙරෙහි පවත්වන ඡන්ද විමසුම ඵල රහිත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය මැයි මාසයේ මුල සිට මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 130 කට වැඩි ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර 60,000 කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසුමට සහ විවාදයට දිනයක් ඉක්මනින් තීරණය කරන බව ඉන්දීය මන්ත්‍රීවරයෙක් වන ඕම් බිර්ලා මහතා ප්‍රකශ කර තිබෙනවා.

මිලියන 3.2 ක ජනතාවක් වෙසෙම මෙම කුඩා ප්‍රාන්තයේ මෙලෙස ඇති වී ඇති ගැටුම් පාලනය කර ගත නොහැකි වීම 2024 මැයි මාසය වන විට ජාතික මැතිවරණයකට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටින මෝදී ගේ ආණ්ඩුවේ දේශපාලන අසාර්ථක වීමක් ලෙසයි මාධ්‍ය වාර්තා කරන්නේ.