නවදිල්ලියේ විරෝධතාවයක් -18ක් මරුට

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතා අතරතුර මියගිය පුද්ගලයන් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ.

මෑත ඉතිහාසයේ නවදිල්ලි අගනුවර ආශ්‍රිතව පැවති ප්‍රචණ්ඩම විරෝධතාව මෙය බව විදෙස් වාර්තා පවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් පසුගිය දෙසැම්බරයේදී එරට පුරවැසි පනත සංශෝධනය කළේ අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන්හි සිට ඉන්දියාවට සංක්‍රමණයවී සිටින මුස්ලිම් නොවන සුළු ජාතිකයන්ට පුරවැසි භාවය පිරිනැමීමට ඉඩ සලසමින්ය.

එම සංශෝධනයට විපක්ෂයේ මෙන්ම මුස්ලිම් ජාතිකයන් ඇතුළු පාර්ශව කිහිපයකින් දැඩි විරෝධයක් එල්ල වුණි.

එම විරෝධතා යළි උත්සන්න වුණේ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරතවූ පසුබිමකයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන දිල්ලියේ ඊසානදිග ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා පවත්වා තිබුණි.

විරෝධතාකරුවන් ස්ථාන කිහිපයක ගිනිතැබීම් සිදුකර ඇති බවත් එරට වාර්තාවල සඳහන්ය.

විරෝධතාව ප්‍රචණ්ඩකාරී වුණේ නව පුරවැසි පනතට සහාය පල කරන කණ්ඩායමක්ද නවදිල්ලියේදී උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟයි.

එහිදී පනතට විරුද්ධ හා සහාය පල කරන කණ්ඩායම් දෙක එකිනෙකා වෙත ප්‍රහාර එල්ල කර ගෙන තිබුණි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ඉන්දීය බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වූ ප්‍රදේශයට ඉතාමත් ආසන්නයේ මේ විරෝධතා පවත්වා ඇති බවත් සඳහන්ය.

දශක කිහිපයකට පසුව නවදිල්ලිය ආශ්‍රිතව පැවති ප්‍රචණ්ම විරෝධතාව මෙයයි.

විරෝධතා ප්‍රචණ්ඩවීමට ආගමික මතවාදයන් මුල්වී ඇති බවත් හින්දු හා ඉස්ලාම් කණ්ඩායම් එකිනෙකා සමග සටන් කරමින් සිටින බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

විරෝධතා පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.

ගැටුම්වලින් මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්ද සිටින අතර ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් එකසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

විරෝධතා සම්බන්ධයෙන් අදහස් දකවමින් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ එය ඉන්දියාවට අදාළ කරුණක් බවයි.