තලවතුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 18 වැනි දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්වූ වූයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත ප්රදේ්ශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස් දෙහැවිරිදි එක් දරු පියෙකි.
තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී රාත්‍රි 12.40ට පමණ වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය අනතුර සිදුකර පලා ගොස් ඇති බවත්, එම ස්ථානයේ සිටි පිරිසක් මෝටර් රථය පසුපස කිලෝමීටර් භාගයක් පමණ දුර හඹාගොස් රංගන ශිල්පියා අල්ලා ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරට ලක් වී බරපතළ තුවාල ලැබූ වසන්ත උදය කුමාර රෝහලට ඇතුළත් කරනා විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියෙන් මරණයට පත්වූ අයට මාස දෙකක් වයසැති දියණියක සිටින අතර සිද්ධිය වූ ස්ථානයේ සිටි මියගිය අයගේ වැඩිමහල් සොයුරු වන ගම්මන ලියනගේ නිලන්ත මහතා මෙසේ පැවසීය.
“මියගොස් සිටින මගේ මල්ලී සහ මම ජී.එන්.එල්. සුපර්ලේයර් කියන පෞද්ගලික ආයතනයට අනුයුක්තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවෙ අපි ෂෙඩ් එක ඉස්සරහ පදික මාරුවේ තීන්ත ආලේප කරමින් සිටියේ. අපි හත්දෙනෙක් පමණ එම ස්ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා.මම පදික මාරුව ලකුණු කර දී මඳක් ඉදිරියට ගිහින් අනිත් වැඩ කටයුතු සොයා බලද්දී එකපාරටම මල්ලී මෝටර් රථයේ වැදුණු සද්දෙ ඇසුණා. ඒ සමඟම මම මල්ලී ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථය පලා ගියා. එතැන සිටි පිරිසක් මෝටර් රථය පසුපස හඹා ගොස් අල්ලා ගෙන තිබෙනවා. අනතුරේදී මෝටර් රථයේ යම් ආබාධයක් සිදුවී ඇති බැවින් වේගෙන් යන්න බැරිවෙලා තියෙන බවත් එසේ නොවන්නට මෝටර් රථය පලායන බවත් දැනගන්න ලැබුණා. පසුව දැන ගත්තේ අනතුර සිදු කළ අය රංගන ශිල්පියෙක් කියලා. ඔහු බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ වූ බව ද දැනගන්නට ලැබුණා.
මල්ලී බොහොම අහිංසක චරිතයක් එයාගේ දුවට මාස දෙකයි වයස. ලොකු අපරාධයක් වුණේ. බීමත්ව මෙවන් අනතුරු කරන සෑම කෙනකුටම තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි”
අනතුරින් මියගිය අය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන්ද සමඟ ඉතා සුහදව කටයුතු කළ, කිසි කෙනකුට වරදක් නොකරන අයකු බව ප්‍රදේ්ශවාසීහු බොහෝ දෙනෙක් පවසා සිටියහ.
අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

