සයින්දමරුදු වෙනම නගර සභාවක් කරන ගැසට් නිවේදනය අත්හිටුවයි

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

ඊයේ(19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබේ.

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීම සඳහා යෝජනාවක් 2018 වර්ෂයේ දී ෆයිසර් මුස්තාෆා එවකට අමාත්‍යවරයා විසින් ගෙන ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එවකට විෂය බාර අමාත්‍යවරයා වශයෙන් ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද පැවසු බන්දුල ගුණවර්ධන මහතා, ඔහුගේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියට ගෙන යෑම පමණක් සිදු කර ඇතැයිද කියා සිටියේය.

රටේ එක් ස්ථානයකට පමණක් අනෙක් සෙසු පළාත්වලත් මෙවැනි අවශ්‍යතා ඇති බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම යෝජනාව අත්හිටුවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් පාලන ස්වදේශිය කටයුතු අමාත්‍යාංශය විසින් වෙනත් ස්ථානවලටත් මෙවැනි අවශ්‍යතාවයක් ඇත්නම් රටටම එය එකවර සිදු කරන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව 2018 දී ෆයිසර් මුස්තාෆා මහතා විසින් ස්ථීර කර ඇති මෙම යෝජනාව ඉදිරියට ගෙන යෑම තාවකාලික වශයෙන් අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

අද දෙරණ