සුසාන භූමියට ගෙනියන්න තිබුණ මළ-මිනිය නැවතත් රෝහලට ගෙනියලා

ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු භූමදානය කිරීම සඳහා සුසාන භුමිය වෙත රැගෙන යාමට නියමිතව තිබු මෘත ශරීරයක් කුලියාපිටිය පොලීසිය විසින් කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ඊයේ(17) පස්වරුවේ මෙම සිදුවීම දුම්මලසුරිය ශාන්තිගම ප්‍රදේශයෙන් වාර්තා වුණි.

මෙලෙස රැගෙන ගොස් ඇත්තේ අනුර මල්වත්ත නමැති අවිවහකයෙකුගේ මෘත ශරීරයකි. 

වන අතර මොහු පසුගිය 12 වන දින සිය නිවෙසින් පිටත්ව ගොස් තිබු අතර පසුව පසුගිය 13 වැනි දින දඹදෙනිය රෝහලින් කළ දැනුම් දීමක් අනුව ඔහු දඹදෙනිය රෝහලේ ප්‍රතිකාර ලබන බව දැනුම් දී තිබූ බව වාර්තා වෙයි. 

දඹදෙනිය රෝහලින් ප්‍රකාශ කර ඇත්තේ මේ පුද්ගලයා දඹදෙනිය ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටියදී ප්‍රදේශවාසින් පිරිසක් දැක රෝහල් ගත කළ බවයි.

ඊට දිනකට පසු එනම් පසුගිය 14 වැනි දින මෙම පුද්ගලයා මියගොස් ඇති බව දැනුම් දී ඇති අතර පශ්චාත් මරණ  පරීක්ෂණය  කුලියාපිටිය රෝහලේදී  පවත්වා දේහය පසුගිය 15 වැනි දින ඥාතීන්ට භාර දී තිබුණි. 

ඉන අනතුරුව ඥාතීන් විසින් මේ දේහය දුම්මලසුරිය ශාන්තිගම ප්‍රදේශයට ගෙනවිත් පසුගිය 16 වැනි දින භූමදානය කිරීමට නියමිතව තිබියදී ගම් වැසියෙකු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 12 වැනි දින අනුර මහතා කුලියාපිටිය නගර මාධ්‍යයෙදී ත්‍රීරෝද රථයක ගැටුණු අතර පසුව ත්‍රීරෝද රියදුරු අනුර මහතා කුලියාපිටිය රෝහලට රැගෙන යන අයුරු තමා දුටු බවයි. 

තමා අනුර මහතා කුලියාපිටිය රෝහලේදී ප්‍රතිකාර ලබන අයුරු දුටු බවද මේ පුද්ගලයා ප්‍රකාශ කිරීම හේතුවෙන් සිදුවීම වූ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමට ඥාතීන් විසින් පියවර ගන්නා ලදී. 

මෙහිදී අනතුර සිදූවූ බවට කියන අදාල ස්ථානයේ ආක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී අනතුර සිදුවන අයුරු හා තුවාලකරු රෝහලට රැගෙන යාන අයුරු ඉතා පැහැදිලිව සටහන්ව තිබීම හේතුවෙන් පොලිස් පරීක්ෂණ නැවතත් ආරම්භ විණි.

මේ පුද්ගලයා මේ අනතුරට මුහුණ පා ඇත්තේ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සිය මව බලා නැවත නිවසට එමින් සිටියදී බව වාර්තා වෙයි.

අනතුරින් පසු කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ මොහු සුළු වෙලාවකින් රෝහලින් අතුරුදන් වූ ආකාරය පිළිබඳ ගැටළු මතුව ඇති අතර ඔහු දඹදෙනිය ප්‍රදේශයට ගියේ කෙසේ දැයි පිළිබඳව ද, පොලිසියේ අවධානය මතුව තිබේ. 

මේ සම්බන්ධයෙන් අනතුර සිදුකල ත්‍රීරෝද රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යාන අතර  කුලියාපිටිය රෝහලේදී මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් හා ගම්වැසියන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ සොයා බලන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණයක් පවත්වයි.