බඹරගල රජමහා විහාරය

ගෞතම බෝසතුන් සිද්ධාර්ථ නමින් උපන් ස්ථානය ඇත්තටම කොහෙද කියන එක මේ දවස් වල ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාවක් නේ. දැනට සම්මත වෙලා තියෙන විදිහට නම් බුදු හාමුදුරුවෝ ඉපදිලා තියෙන්නේ වර්තමාන නේපාලය ආශ්‍රිතව. ඒ කාලේ නම් ඒ සේරම භාරතය කියන එකම දේශයක් ඉතින්.

සම්මතයෙන් පිට පනින සමහර ය කියනවා බුදුන් උපන් දේශය ඉන්දියාව නෙමෙයි මේ අපේම ලංකාව කියලා. අතීතයේ ලංකාවේ ලියවිලා තියෙන පොත් වලට අනුව නම් ගෞතම බුදු හාමුදුරුවෝ ඉපදිලා තියෙන්නේ මධ්‍ය මණ්ඩලයේ. ලංකාව පිහිටලා තියෙන්නේ භූ තැටියක හරි මැද නිසා එහෙම හිතන එකත් සාධාරණයි. නේද? 

බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන එකත් එක්ක කෙනෙක් ට මතු වෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ලංකාවේ කොහෙද කියන එක, ගොඩක් අයට අනුව සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ බඹරගල රජමහා විහාර භූමියේ. ඒ උපත සිහිවෙන්න තමයි බඹරගල විහාරය හදලා තියෙන්නේ කියලා තමා කියන්නේ. 

ඉතින් මේ විහාරය තියෙන්නේ නුවර, තෙල්දෙණියේ තියෙන වැවගම කියන ගමේ. නුවර කිව්වට නුවර ඉඳන් කිලෝමීටර 21.8 ක දුරක් තියෙනවා. නුවර ඉඳන් විනාඩි 40 කින් වගේ ඔයාට මේ විහාරයට යන්න පුළුවන්.

මේ විහාරය දැනට සොයා ගෙන තියෙන විදිහට කටාරම් කෙටූ ලෙන් 54 ක් එක්ක තමයි සකස් වෙලා තියෙන්නේ. ගල් පඩිපෙලක් දිගේ උඩට ගියාම මේ ලෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ගල් පඩි ඇත්තටම 164 ක් නගින්න තියෙනවා මේ විහාර භූමියට ඇතුළු වෙන්න. ඒ ගල් පඩි වලට උඩින් මෑතකදී ඉදි කල තොරණ සහ ආරුක්කු දොරටුව දකින්න පුළුවන්.

අන්තිමටම තියෙන පඩි පෙලේ ඉහල කොටස නම් ලොකු ගල් දෙකකින් මායිම් වෙලා හැදුනු ස්වාභාවික ආරුක්කු මාර්ගයක් හරහා වැටිලා තියෙන්නේ. ඒ පඩි නැග්ගම හම්බ වෙන්නේ දේව මාලිගාවේ මලුව. මේ ලොකු ගල් දෙකෙන් ස්වාභාවිකවම නිර්මාණය වුනු දිගටි ගුහාවක් හැදිලා තියෙනවා. මේ ලෙනේ බිත්ති වල සූවිසි බුදුවරුන්ගේ සිතුවම්, සත් සතිය සහ ජාතක කතා සිතුවල් වලින් අලංකාර කරලා තියෙනවා. ලෙනේ ඉහල බිත්තියේ ඒ කියන්නේ සිවිලිමේ නෙලුම් මල් මෝස්තර තියෙනවා.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයට අනුව මේ ස්ථානයෙන් හම්බ වෙලා තියෙන සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව 2 සහ 3 වැනි සියවස් වලට අයිති ඒවා. ඒ වගේම මේ විහාරයේ තියෙන බිතු සිතුවම් මහනුවර යුගයට අයිති බවයි ඒ මහත්තය සඳහන් කරලා තියෙන්නේ නම්. ඒ කියන්නේ  වර්තමානයේ තියෙන පරිදි විහාරය ඉදි කරලා තියෙන්නේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ.

ඉතින් විහාරයේ ටිකක් උඩට එනකොට තියෙනවා ප්‍රසූත ගුහාව. ජනප්‍රවාද වලට අනුව මහමායා දේවිය මේ ගුහාවේ දී තමයි සිද්ධාර්ථ කුමාරයා බිහි කරලා තියෙන්නේ . ප්‍රසූත ගුහාව එහෙම නැත්නම් වැදූ ලෙනත් චිත්‍ර වලින් අලංකාර කරලා තියෙනවා. මේ චිත්‍ර අතර කාන්තාවක් සිය දරුවා ප්‍රසූත කරනවා යන්න නිරුපනය කරන චිත්‍රයකුත් අන්තර්ගත වෙනවා. චිත්‍ර ශිල්පියා ඒ කාන්තාව සාමාන්‍ය කාන්තාවකට වඩා විශේෂ වන ආකාරයට, විවිධ ආභරණ වලින් යුක්තව හරි අපුරුවට නිරුපනය කරලා තියෙනවා. ආයෙමත් කියන්න ඕනි මේ හැම චිත්‍රයක්  ම නුවර යුගයේ චිත්‍ර වල ලක්ෂණ වලිනුයි හැඩ වෙලා තියෙන්නේ.

ඒ වගේම මේ ලෙන ආශ්‍රිතව කුඩා ගල් පොකුනකුත් දකින්න පුළුවන්.

විහාරයේ ප්‍රධාන ගල ට පිටුපසින් තියෙන ගුහාව ඉන්ද්‍රසාල ගුහාව කියලා හදුන්වනවා. මෙතෙන තියෙන එක සෙල්ලිපියක “ඉදශල ගුහ ශගශ” කියල සඳහන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. එකේ තේරුම විදිහට කියන්නේ ඉන්ද්‍රසාල ගුහාව – භික්ෂුන් වහන්සේලා සඳහා දෙන ලද” කියන් එකයි. අතීතයේ ඉන්ද්‍රසාලා කියන්නේ දැන් ප්‍රජා සාලා වගේ තැනක් ලු.

බුදු හාමුදුරුවෝ තමන් වහන්සේ ඉපදුනු ස්ථානයේ එක් වස් කාලයක් ගත කරලා තියෙනව කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා . ඒ  ස්ථානය ඉන්ද්‍රරසාල ගුහාව ලෙස ත්, එහිදී සක්‍රයා වෙනුවෙන් ධර්ම දේශනාවක් සිදු කළා කියලත් සඳහන් වෙනවා.  ඉතින් බඹරගල විහාර භුමියේ පිහිටලා තියෙන ඉන්ද්‍රසාල ගුහාව කියන්නේ එක වෙන්නත් පුළුවන් කියලා කට්ටිය මත පල කරනවා. 

මේ බඹරගල විහාරය ආශ්‍රිත භූමියේ අදටත් සල් ගස් බහුලව පවතින ප්‍රදේශයක්.

ඉතින් ඔයාටත් පුළුවන් මේ විහාරයට යන්න, ගිහින් මේ දේවල් දැක බලා ගන්න.
ඔයා මේ විහාරය බලන්න  මහනුවර ඉඳන් යනවා නම්,  මහනුවර – මහියංගනේ – පදියතලාව පාරෙන් දිගන පහු කරලා මහනුවර තෙල්දෙණිය ට ගිහින් යන්න පුළුවන්. විහාරයට යන්න අතීතයේ භාවිතා කරපු පාර නම්, වික්ටෝරියා ජලාශය සැදීමත් එක්ක වතුරට යට වෙලා ගිහින් තියෙනවා.

මේ විහාරය දැනටමත් නිදන් හොරුන්ගේ ගොදුරක් වෙලා ඉවරයි. නිදන් හොරුන් විසින් දාගැබ් වහන්සේ ට හානි කරලා, ඒ වගේම මේ දේශීය උරුමය විනාශ කරන යම් පුද්ගල කණ්ඩායම් විසින් මේ ස්ථානයේ තියෙන චිත්‍ර ත් විනාශ කරලා.

ඉතින් ඔයත් මේ විහාරයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ ස්ථාන වලට හානි නොකර ඒවා වන්දනා කරන්න, දැක ගන්න.මේ අපේ උරුමය අපි ආරක්ෂා කරන්න ඕනි.
එහෙනම් තවත් මේ වගේ ලිපියකින් එකතු වෙනකම් පරිසමෙන් ඉන්න, බුදු සරණයි. ජය වේවා.